නුවර කලාවියේ ගැමි ආහාර

                                               නුවර කලාවියේ ගැමි ආහාර 

                              



නුවර කලාවිය ශ්‍රී ලාංකික සංස්කෘතියේ (ගැමි) විශාල ලෙස චාරිත්‍ර, වාරිත්‍ර, ක්‍රීඩා, ආගමික, අභිචාර විධි එකතුවෙන් ඉතා විශිෂ්ට හා සෞන්දර්යාත්මකව ගොඩ නැඟුණු සුවිශේෂී සමාජයෙකි. එවැනි විවිධ පසුතලයන් අතර ගහේ වැලේ, ඇළේ දොළේ මෙන්ම විවිධ ධාන්‍ය වර්ගවල පිටි, සීනි , පොල් ආදිය සමබරව ගෙන සකසා ගන්නා ලද රස කැවිලි මෙන්ම ශරීරයට ගුණදායක සහ පිරිපුන් ආහාර රටාවක් මෙම නුවර කලාවියේ දැකිය හැකිය. අදටත් මෙම ගම්වල කෑම රස බැලීමම පෙර පිනක මහිමයක් බව නම් සැබෑවය.

1.දොහොයි

මෙම ප්‍රදේශයේ ජනතාවගේ ඉතා රසවත් මෙන්ම පෝෂ්‍යදායි ආහාරයකි. උඳු පිටි හා කුරහන් පිටි එක් ප්‍රමාණයකින් ගෙන පොල් කිරිවලින් අනා සාමාන්‍ය ගානට උකුවට සකස් කර ගනියි. ඉන්පසු රොටි කබලක් ගෙන ලිප තබා එය රත් වූ විට රොටියක් මෙන් උකුවට සකසා ගත් දියරය කබලට දමා අතින් තුනී කරයි. පසුව එය රොටිය මෙන් දෙපැත්ත දමා ලිපෙන් බා ගනියි. මෙය ලූල් මාළු , වැව් මාළු, පිදුරු බිම්මල්, විවිධ වේළාගත් දඩමස් ව්‍යංජනය සමඟ ආහාරයට ගනියි.

2.කොමළවටා

සීනි උණු කර පදමට සකස් කරගෙන එයට ගා ගන්නා ලද පොල් මිශ්‍ර කර කලවම් කර ගනියි. එයට කැකුළු සහල් පිටි මිශ්‍ර කර ලිපේ තබා ස්වල්ප වේලාවක් තබා ගනියි. ගුලි ලෙස සකස් කිරීමට හැකි ලෙස පදමට ආ විට මෙයට පොල් පැණි මුහුකර ටික වේලාවක් ලිපේ තබා නැවත මද රස්නයක් වනතුරු නිවෙන්ට හැර අග්ගලා ලෙස සකස් කර ආහාරයට ගනියි.

3. කුරහන් තලප

කුරහන් පිටි අවශ්‍ය ප්‍රමාණයට ගෙන පොල් කිරිවලින් දිය කර එය ලිපේ තබා නිතරම හැඳි ගාමින් එයට අවශ්‍ය පරිදි ලුණු මිශ්‍ර කර ගනියි. එය සාමාන්‍ය පරිදි ඝණ තත්ත්වයට පත් වන විට ලිපෙන් බිමට ගෙන තබයි. එයට වැව් මාළු හොද්ද සහ තක්කාලි වැඩි ප්‍රමාණයක් යොදා වේලාගන්නා ලද ලුල් මාළු කෑලි ලෙස දමා සකස් කර ගන්නා හොද්ද සමඟ ආහාරයට ගනියි.

4.ඕලු බත්

ජලජ පැළෑටියක් වන මෙය මේ ප්‍රදේශයේ සුලබව දැකිය හැක්කකි. වැව්වල හැදෙන ඕලු මල්වල ගෙඩිය පැසුණු පසු ඒවා කඩා අව්ව් වේලා වංගෙඩියේ දමා කොටා ගනියි. එමඟින් ඕලු ඇටවල පොතු ඉවත් කර ගනියි. පසුව හාල් ලෙස සකස් කර ගනියි.

5.ලී කොළ මැල්ලුම

කුඩා උස පඳුරු ලෙස වැඩෙන ශාකයකි. ලා කොල පැහැති කුඩා කොළ වි‍ශේෂයකි. එම කොළ කඩා කුඩාවට සිහින්ව ලියා රතු ලූනු , අමුමිරිස්, උම්බලකඩ, පොල් මුහුකොට මඳ රස්නයේ රත්කර ආහාරයට ගනී.

6.තණහාල් කිරිබත්

මෙය ධාන්‍ය වර්ගයකි. තණ ඇට වංගෙඩියේ දමා කොටා එහි පොත්ත ඉවත් කර එයට කැකුළු හාල් මිශ්‍ර කර තණ හාල්වලට පොල් කිරි දමා ලිපේ තබා කිරිබත සකසා ගනී.

7.අත්තික්කා ගෙඩි මාළුව

අත්තික්කා ගසේ ඉතාම දලු (ලපටි) ගෙඩි ගෙන ඒවා දෙකට පලා මදය ඉවත් කර උණු වතුරෙන් තම්බා වතුර පෙරා තුනපහ , රතුලූනු, උම්බලකඩ, කරපිංච, අමුමිරිස් දමා මිටි කිරෙන් නැවත ලිප තබා පසුව තෙම්පරාදු කර ගනියි.

8.කර කොළ ‍මැල්ලුම

මෙය කැළෑවට යාබදව ඇති ගස් විශේෂයකි. මේවායින් දලු කොළ සිහින්ව ලියා රතු ලූනු, උම්බලකඩ , අමුමිරිස්, ලුණු දමා ලිප තබා මලවා ආහාරයට ගනියි.

9.කලවං පලා මැල්ලුම

පලා රිකිලි ගෙන සාමාන්‍ය ප්‍රමාණයට කපා ගනියි. එයට තිබ්බටු, මෑකරල්, වම්බටු, අමුමිරිස්, උම්බලකඩ දමා තැම්බෙන්න ලිප තබා පසුව තෙම්පරාදු කර ගනියි.

10.තෙලමිය ගෙඩි මාළුව

තෙලමිය ගෙඩි ගෙන එය දෙකට කපා තම්බා ගනියි. පසුව එයට තුනපහ, මිරිස්, ලූනු දමා මිටි කිරෙන් නැවත උයාගෙන ආහාරයට ගනියි.

11.අවර මාළුව

දලු අවර කරල් ගෙන ඒවා දෙකට පලා ඇට හා මදය ඉවත් කර තම්බා ගනියි. තුනපහ, අමුමිරිස්, රතුලූනු, උම්බලකඩ ආදිය දමා එය තෙම්පරාදු කර ගනියි.

12.පෙතන් මල් බැදුම

පළමුවෙන්ම මේ සඳහා හාල් පිටි ගෙන එයට කරපිංචා, මිරිස්, ලූනු, ලුණු දමා ගලේ අඹරා එම මිශ්‍රණය පිටිවලට දිය කර උකුවට සාදා ගනියි. ඉන්පසුව පෙතන් මලේ පෙතිවල මෙම මිශ්‍රණය තවරා ගැඹුරු තෙලේ දමා බැද ගනියි.

13.කිරින්ගලා කොළ ඇඹුල

කිරින්ගලා කොළ නොතැලෙන ලෙස කඩා සෝදා වතු පෙරෙන්නට තබයි. පොල් කිරි ගෙන එයට රතුලූනු, අමුමිරිස්, උළුහාල්, සියඹලා, කරපිංච දමා හොද්ද පැහෙන විට කපාගත් කිරින්ගලා කොළ දමා තැම්බුණු පසු ලිපෙන් බා ගනියි.

14.තිබ්බටු සම්බෝලය

අවශ්‍ය ප්‍රමාණයට තිබ්බටු ගෙන සෝදා එය කබලේ බැද ගනියි. පසුව එය හොඳින් කුඩු කර ගනියි. රතුලූනු, පොල්, උම්බලකඩ, අමු මිරිස් , දෙහි හෝ තක්කාලි දමා අනා සම්බෝලයක් ලෙස ආහාරයට ගනියි.

15.මෙනේරි බත

මෙනේරි වී වංගෙඩියේ දමා කොටා හාල් වූ විට එයට කැකුළු සුනු සහල් ස්වල්පයක් දමා මෙනේරි කිරිබත සකස් කරගත හැකිය. තම්බා ගත් හාල් දමා සාමාන්‍ය බතක් ලෙස ද සකස් කරගත හැකිය.

16.ලෝලු දලු මාළුව

ලෝලු දළු ගෙන උණු වතුරෙන් තම්බාගෙන එයට තුනපහ, ලුණු, මිරිස්, උම්බලකඩ, රතුලූනු, තක්කාලි දමා මිටි කිරෙන් ලිපේ තබයි. පසුව එය තෙම්පරාදු කර ගනියි.

17.ඕළු දඬු මාළුව

ඕළු දඬු ගෙන රේණු හැර කුඩාවට කපා ගනියි. එයට ලුණු, මිරිස්, තුනපහ, පොල් දමා මලවා ආහාරයට ගනියි.

18.මයිල මල් මාළුව

මයිල ගසේ මල් තම්බා වතුර පෙරා මිරිස් තුනපහ රතුලූනු ආදිය දමා මිටි කිරෙන් ලිප තබා පසුව නැවත තෙම්පරාදු කර ගනියි.

19.අබ ඇට සම්බෝලය

අබ ඇට සෝදා වියළා ගෙන කබලේ බැද ගනියි. ලුණු, මිරිස්, රතු ලූනු සියල්ලම එකට ගලේ අඹාරා ගුලියක් ලෙස සකස් කර ආහාරයට ටික ටික එකතු කර ආහාරයට ගනියි.

20.වැල් පෙනල සම්බෝලය

වැල් පෙනල දලු කොළ සිහින්ව කපා රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි ඇඹුල් දමා පොල් සිහින්ව ගා ගෙන සම්බෝලය ලෙස ආහාරයට ගනියි.

21.උඩක්කා කොළ මැල්ලුම

උඩක්කා කොළ සිහින්ව ලියා පොල්, අමුමිරිස්, ලුණු දමා මලවා ආහාරයට ගනියි.

22.කොල්ලු මාළුව

කොල්ලු ඇට බැද පියලි කර ගනියි. එයට පොල් කිරි , තුනපහ දමා ලිප තබයි. පියලි තැම්බුණු පසු ගලේ අඹරාගත් කොල්ලු පියලි ගෙන කිරි සමඟ මිශ්‍ර කර ගනියි. පසුව අමු මිරිස්, තක්කාලි, ලූනු තෙම්පරාදු කර කොල්ලු පියලි ව්‍යාංජනය සකස් කර ගනියි.

23.උඳු පිටි හොද්ද

මිටි කිරි ගෙන එයට අමුමිරිස්, රතුලූනු, කරපිංච, උළු හාල් දමා ලිප තබයි. එය රත් වීගෙන එන විට උඳු පිටි ස්වල්පයක් දමා එයට සියඹලා දමා උකුවට සකස් කර ආහාරයට ගනියි.

24.තල මාළුව

අමු තල ඇට පැය -3ක් පමණ වතුරේ පෙඟෙන්නට හරියි. පසුව එයට පොල් දමා ගලේ හොඳින් අඹරා ගනියි. අමු මිරිස්, රතුලූනු, කරපිංච, ලුණු දමා තෙම්පරාදු කර ගනියි. සෑහෙන වේලාවක් අඩිය නොඅල්ලන ලෙස හැන්දෙන් කලවම් කර ගනියි. ඉතා රසවත් ආහාරයකි.

25.නෙළුම් අල

නෙළුම් අල ගෙන වණ්ඩුවේ හෝ වතුරේ දමා තම්බා ගනියි. පසුව මෙයට ලුණු මිරිසක් සකසා ආහාරයට ගනියි.

26.කෙකටිය අල

කෙකටිය අල ගෙන තම්බා වතුර ඉවත් කර ගනියි. පසුව එහි ඇති පොත්ත ඉවත් කර පොල් සමග ආහාරයට ගනියි.

27.කිරිවැදෑනි

කැකුළු හාල් බැද අඹරා එයට පොල් වතුර හෝ රා මන්ඩි දමා අනාගනියි. පසුව මෙය පිපෙන්නට රෙදි කැබැල්ලක් මුට්ටියේ ගැට ගසා තබයි. මේවා පිපුණ පසු ආප්ප ලෙස තාච්චියේ සකස් කර මී පැණි සමඟ හෝ මී කිරි සමඟ මිශ්‍ර කර ආහාරයට ගනියි.

සිය ජීවන රටාවේ ප්‍රධානම කරුණක් වන ආහාරය පරිසරයම සමඟ බද්ධ වී ඇති බව පෙනේ. පරිසරයේ ඇති දෑ ගෙන තම ජීවිතය ගැටගසා ගත් බව මෙම ආහාර රටාවෙන් මනාව පිළිබිඹු වේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ

අනුරාධපුර කල්ලංචිය ගොවිජන සේවා

මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරි

ශ්‍යාමා හේවාගමගේ

Post a Comment

0 Comments