මුදු කරවලා, දුනු කරවලා, හත් කරවලා, පොළොං කරවලා | Sri Lanka Krait
උග්ර විෂ - Highly Venomous
Bungarus ceylonicus (Günther, 1858 )
දේහය,
දිලිසෙන, සිලින්ඩරාකාර, මධ්යම ප්රමාණයේ දේහය. කුඩා, පැහැදිලි ගෙලක් නොමැති, වටකුරු හා කෙටි හොම්බක් සහිත හිස. කුඩා ඇස්. තරමක් විශාල නාස් විවර. වලිගය කෙටිය, ක්රමයෙන් උල්වේ. උදරය වටකුරුය.
පෘෂ්ඨීයව තද දුඹුරු හෝ දිප්තිමත් කළු පැහැතිය. සුදු පැහැති, පළල් හරස් පටි 15-28ක් පමණ වලිගය කෙළවර තෙක් විහිදේ. මෙම පටි, ඒවා අතර පරතරයට වඩා පළලින් අඩුවන අතර, උදරයට ලංවත්ම පළලින් වැඩිවේ. B. c. ceylonensis උප විශේෂයේ බොහෝවිට මෙම පටි ශරීරයේ පහළ කොටසේදී දෙකට බෙදී තිබිය හැක. වයසත් සමඟ පටි ක්රමයෙන් මැකීයයි. හිස පිටුපසට වන්නට සහ උගුර ප්රදේශය සුදු පැහැතිවන අතර ඉදිරිපස පෘෂ්ඨීය ප්රදේශය සහ හොම්බ කළු පැහැතිය. B. c. karawala උප විශේෂයේ මෙම සුදු පැහැ කොටස හිසෙන් අඩකට වඩා ඉදිරියට ව්යාප්තව ඇත. නමුත් වයස්ගතවත්ම මුළු හිසම කළු/තද අළු පැහැවේ. උදරීයව පැටවුන් තනි සුදු පැහැති වන අතර, වැඩුණු සතුන්ගේ කළු පැහැති හරස් පටි ඇත. B. c. karawala උප විශේෂයේ මෙම පටි වඩා පැහැදිලිව දිස්වේ.
Bungarus ගණයට අයත් කුඩාම විශේෂය වේ. උපතේදී මි.මී. 200-250, වැඩුණු සතුන් මි.මී. 800 - 1000. නමුත් මි.මී. 1346ක් දිග සතෙකුද වාර්තා වී ඇත. . B. c. karawala උප විශේෂය දිගින් අඩු වන අතර සාමාන්යයෙන් මි.මී. 700ක් පමණ වේ.නිශාචර භෞමීය සර්පයෙකි. ලඳු කැලෑ වගාබිම් ගෙවතු ආශ්රිතව දිවා කාලය දිරා ගිය කොළරොඩු තුළ, ගල් ගඩොල් කැබලි අතර ගත කරයි. අලස සර්පයෙකු වන අතර බොහෝවිට සපාකෑමට තැත් නොකරයි. කලබල වු විට හිස සඟවා ගැනීමට තැත් කරයි. වරකට බිත්තර 8-10ක් පමණ දමන අතර ගැහැණු මෙන්ම පිරිමි සතුන්ද ඒවා ආරක්ෂා කරයි.
ප්රධාන වශයෙන් වෙනත් නිර්විෂ සර්පයින්. ඊට අමතරව සිකනලූන්, හූනන්, ගෙම්බන් සහ මීයන් ආහාරයට ගනියි.
මෙරට වෙසෙන උග්ර විෂැති සර්පයෙකි. ප්රොටෙරොග්ලයිපස් (Proteroglyphous) වර්ගයේ විෂ දළ පිහිටයි. විෂ ප්රධාන වශයෙන් ස්නායු පද්ධතිය අඩපණ කිරීමට බලපායි.
මෙරටට ආවේනික විශේෂයකි. B. c. ceylonensis උප විශේෂය මු.ම.උ.මී. 1000ක් පමණ වන උච්චත්වයක් තෙක් පැතිරෙන තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයට අයත් ඇතැම් ප්රදේශවල හමුවේ (මහනුවර, පේරාදෙණිය, ගම්පොල, මතුගම, සිංහරාජ, නාවලපිටිය, නමණුුකුල, බණ්ඩාරවෙල, කහවත්ත, බලන්ගොඞ, පුස්සැල්ලාව, වැලිමඞ, ගුරුතලාව, කොග්ගල, නකල්ස්). B. c. karawalaඋප විශේෂය තෙත් කලාපයේ මු.ම.උ.මී. 750 - 2000 පමණ වන කඳුකරයට සීමා වී ඇත. (හක්ගල, හෝටන් තැන්න, බදුල්ල, බණ්ඩාරවෙල, නකල්ස් කඳු පංතියේ ඇතැම් ප්රදේශ).
කොරල
මධ්ය දේහයේ හරස් කොරල පේලි 15, ශරීර කොරල සුමුදුය, ඉතා දිලිසෙනසුලූය. කශේ කොරල පැහැදිලි ලෙස පර්ශුක කොරල වලට වඩා විශාලය, ෂඩාශ්රාකාරය. උදරීය කොරල 219-243. නොබෙදුනු ගුද කොරලය. පෞච්ඡ උදරීය කොරල 32-42 නොබෙදුනු. ලලාට කොරලය සහ පුරෝලලාට කොරල දිගින් සමානය. පාර්ශ්ව කොරල, ලලාට කොරලය මෙන් දෙගුණයක් පමණ දිගුය. අන්තර් නාස් කොරල යුගලයකි. පූර්ව අක්ෂි ඵලක කොරල 1 හිස මුදුන දක්වා නොවිහිදේ. අපර අක්ෂි ඵලක කොරල 2. ලොරියල් කොරල නොමැත. ශංඛක කොරල 1–2. අධ්යධර කොරල 7 දෙවන අධ්යධර කොරලය, පළමු හා තෙවන අධ්යධර කොරල වලට වඩා ප්රමාණයෙන් කුඩාය. තෙල් කරවලාගේ මෙම කොරල තුන ප්රමාණයෙන් එක සමානය. යටි අධරීය කොරල 4.
@Guesszone
@Gihan Sandeep
Thankyou!
0 Comments