2 වන පරාක්‍රමබාහු රජු

                 2 වන පරාක්‍රමබාහු රජු




*   3 වන විජයබාහු රජතුමාගෙන් පස්සෙ දඹදෙනිය රාජධානියේ පාලකයා වෙන්නෙ 2 වන පරාක්‍රමබාහු රජතුමයි. අපේ රටේ සිoහල රාජ නාමාවලියේ 2 වන පරාක්‍රමබාහු රජතුමා පෙනී ඉන්නෙ උගතුන් අතරත් උගතෙක් විදිහටයි. ඒ නිසා තමයි ඔය "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" කියන ගෞරව නාමය (විරුධ නාමය) ලැබිලා තියෙන්නෙ. චූල වoශයේ 2 වන පරාක්‍රමබාහු චරිතය ගාථා 535කින් විස්තර කෙරෙනවා.

  අපි කලින් ලිපියේ කතා කළා 3 වන විජයබාහු රජතුමා ගැන. ඒත් අපි ඒ ලිපියේ අතරමැදි කොටසක් ඉවත් කළා. එහෙම කළේ ඒ කරුණු 2 වෙනි පරාක්‍රමබාහු රජතුමා හා සම්බන්ධ කරුණු නිසා. ඉතින් ඒ කාරණා ගැන කතා කරන්න හොදම තෝතැන්න තමයි මේ.

  කේන්දරය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. මිනිස්සුන්ගෙ අනාගතය කේන්දරයේ ලියවිලා තියෙනවා. හැබැයි අපිට අපේ උත්සහය, අධිෂ්ඨානය, කැපවීම අනුව කේන්දරය ඇත්ත කරලා පෙන්නන්නත් පුලුවන්. ඒ වගේම කේන්දරය බොරු කරලා පෙන්නන්නත් පුලුවන්. අපිට පණ්ඩුකාභය, යසලාලක තිස්ස වගේ චරිත අධ්‍යනය කරනකොටත් කේන්දර සම්බන්ධ සිදුවීම් දකින්න ලැබුණනෙ. ඒ වගේමයි 2 වන පරාක්‍රමබාහු චරිතයටත් කේන්දර කතාවක් සම්බන්ධ වෙනවා.

  3 වන විජයබාහු රජතුමා තමන්ගේ පුත්‍රයගෙ, ඒ කියන්නෙ 2 වන පරාක්‍රමබාහු කුමාරයගේ  කේන්දරයත් අරගෙන දෛවඥයෙක් හම්බ වෙන්න යනවා. කුමාරයගෙ කේන්දරය අතට ගත්තු දෛවඥයට මේක අදහගන්නත් බැරි වෙනවා.

​   ගොඩක් වෙලා මේක පරික්ෂා කරපු දෛවඥයා රජ්ජුරුවන්ට මෙහෙම කියනවා. "මේ කේන්දරය නම් බොහොම බලගතුයි. මේ කුමාරයාට අනාගතයේ දවසක මුළු ජම්බුද්වීපයම පාලනය කරන්න පුලුවන් වෙනවා. මේ කුමාරයා අපේ රට එක්සේසත් කරනවා". මේක අහපු රජතුමාට ලොකු සන්තෝසයක් ඇති වෙනවා. අපි කලින් ලිපියේ සාකච්ඡා කළානෙ, 3 වන විජයබාහු රජතුමා මාඝගෙන් රට බේර ගත්තෙ නැති වුණාට, මාඝව එළවන්න කරන්න තියෙන හැම දෙයක්ම සoවිධානය කළා කියලා. හමුදාව රැස් කළා. ආයුධ නිෂ්පාදනය කළා. හමුදාවට පුහුණුවක් දුන්නා. ප්‍රාදේශීය රාජ්‍යන්වල පක්ෂපාතීත්වය ගත්තා. සැලසුම් සකස් කළා. මේ හැම දෙයක්ම කළේ 2 වෙනි පරාක්‍රමබාහු කුමාරයා වෙනුවෙන්. ඒකයි අපි කිව්වෙ කාවණ්තිස්ස රජතුමාගේ චරිතය ආරෝපණය කර ගත්තා කියලා.

​ ඉ තින් 2 වෙනි පරාක්‍රමබාහු කුමාරයා රජ වෙන කොට, 3 වන විජයබාහු රජතුමා මේ ඔක්කොම සoවිධානය කරලා තිබ්බ නිසා, 2 වෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට තිබ්බෙ මෙව්වා ක්‍රියාවට නoවන එක විතරයි. ඒ කියන්නෙ සටන දියත් කරන එක විතරයි. මේ නිසා 3 වන විජයබාහු රජතුමත්, 2 වන පරාක්‍රමබාහු කුමාරයත් අතර පිය පුතු සම්බන්ධතාවට එහා ගිය සම්බන්ධයක් ඇති වෙනවා. මේ නිසා පරාක්‍රමබාහු කුමාරයව අනාගතයේ රටේ ජාතික අවශ්‍යතාව ඉටු කළ හැකි, හොද බුද්ධිමත් පාලකයෙක් කරන්න, 3 වන විජයබාහු රජතුමා පියවර ගන්නවා.  ​   

​බුද්ධිමත් පුද්ගලයෙක් කරන්න නම් ඉතින් මූලික වෙන්නෙ අධ්‍යාපනයයි. ඉතින් 3 වන විජයබාහු රජතුමා කුමාරයවත්, රටේ ජනතාවත්, පාත්‍රා සහ දන්ත ධාතුන් වහන්සේලත් ඒ කාලයේ අපේ රටේ ප්‍රධාන සoඝ නායක හාමුදුරුවන් වුණු "සoඝරක්ඛිත" හාමුදුරුවන්ට භාර කරනවා. සමහරක් විට තවත් වැඩි කාලයක් ජීවත් වෙලා ඉන්න එකක් නෑ කියලා, රජතුමාට ඉවෙන් වගේ දැනෙන්නත් ඇති. කුමාරයගේ අධ්‍යාපන කටයුතුත් භාර දෙන්නෙ, සoඝරක්ඛිත හාමුදුරුවන්ටමයි. රජ කෙනෙක්ට අවශ්‍ය කරන හෑම දෙයක්ම සoඝරක්ඛිත හාමුදුරුවො, 2 වන පරාක්‍රමබාහු කුමාරයට උගන්නනවා. 

* ධර්ම නීති
* යුද්ධ නීති
* රාජ නීති
* අක්ෂර කලාව
* සිoහල භාෂාව
* දෙමළ භාෂාව
* පාලි භාෂාව
* සoස්කෘත භාෂාව
* සූත්‍ර පිටකය
* විනය පිටකය
* අභිධර්ම පිටකය
* බුද්ධ ධර්මය
* සතර වේදය
* ව්‍යාකරණ සහ ඡන්දස් අලoකාර
* නක්ෂත්‍ර විද්‍යාව
* නීති හා තර්ක ශාස්ත්‍රය
* දුනු ශිල්ප
* කඩු ශිල්ප

වැඩිවියට පත් වෙන කුමාරයා දැනුමෙන්, උගත්කමෙන්, හැකියාවෙන්, දක්ෂතාවලින් සමන්විත හොද නායකයෙක් වෙනවා. එහෙම වුණේ නැත්නම් තමයි පුදුමෙ. කොහොමද 2 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙ Degrees ටික..??? අද පාලකයන්ටත් මෙහෙම දැනුමක් තියෙන්න ඕන. අද කාලෙ පාලකයන්ට විතරක් නෙවෙ, හැම පාලකයෙකුටම.. බලයෙන් විතරක් නෙවේ බුද්ධියෙනුත් පොහොසත් වෙන්න ඕන. අද මේ විෂයන්වලින් එකකට හරි හොද දැනුමක් තියෙන එක පාලකයෙක්වත් ඇති කියලා අපි හිතන්නෙ නෑ. මේ වගේ හොද දැනුමක්, බුද්ධියක් ලැබෙන්න හොද අධ්‍යාපනයක් තියෙන්න ඕන. ඒකට අධ්‍යාපනය වැදගත් සාධකයක් කියලා, 2 වෙනි පරාක්‍රමබාහු චරිතයෙන් ඔප්පු වෙනවා. 2 වෙනි පරාක්‍රමබාහු රජතුමා එක්ක තියලා බලනකොට, ඔය "මිනිස්සුන්ව අල්ල ගෙන ගස් බදින පාලකයො දකින්න අපි මෙච්චරටම පව් කළාද?" කියලත් වෙලාවකට හිතෙනවා.  


3 වන විජයබාහු රජතුමාගෙන් පස්සෙ රාජ්‍යත්වය භාර ගන්න 2 වෙනි පරාක්‍රමබාහු කුමාරයා, 3 වන විජයබාහු රජතුමා ඒ වෙනකොට ඒකරාශී කරලා තිබ්බ සම්පත් ප්‍රයෝජනයට අරගෙන මාඝගෙන් අපේ රට බේර ගන්න යුද්ධ කරනවා. "ලකගන මා සතු කර ගනිමි" කියන දේශ හිතෛෂී සහ ජාති හිතෛෂී සටන් පාඨය පෙරදැරි කර ගෙන යුද්ධ ව්‍යාපාරය දියත් කරනවා.

මේ වෙන කොට 3 වන විජයබාහු රජතුමා අපේ රටේ හැම ප්‍රාදේශීය රාජ්‍යකින්ම පක්ෂපාතීත්වය අරගෙන තිබුණා. මේ පක්ෂපාතීත්වය තව දුරටත් ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන්න 2 වන පැරකුම්බාවන් කටයුතු කරනවා.

ප්‍රසිද්ධ කියමනක් තියෙනවනෙ "My Enemy's Enemy Is My Friend" කියලා..??? සිoහල තේරුම තමයි "මාගේ සතුරාගේ සතුරා මාගේ මිතුරාය".  පරාක්‍රමබාහු රජතුමා මේ සටනට එක්තරා විදිහක උපක්‍රමයකුත් යොදනවා. ඒ තමයි ඉන්දියාවේ පාණ්ඩ්‍යන්ගෙන් ආධාර ලබා ගන්න එක.  මේ වෙනකොට ඉන්දියාවේ කාලිoග, පාණ්ඩ්‍ය රාජධානි ගහ මරා ගන්න තත්වයක තිබුණා. පොළොන්නරුව ආක්‍රමණය කරපු මාඝ, කාලිoඝයෙන් ආපු නායකයෙක්. කාලිoගයන් සහ පාණ්ඩ්‍යන් මේ වෙනකොට විරුද්ධවාදීන්. ඉතින් 2 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙ ඉල්ලීමට, පාණ්ඩ්‍යයෝ එකපයින්ම කැමති වෙනවා.   


​ඊට පස්සෙ මාඝගෙන් අපේ රට මුදව ගන්න කරන සටන පටන් ගන්නවා. සිoහල හමුදාව ටිකෙන් ටික මාඝගේ මූලස්ථාන විනාශ කර ගෙන රජරටට ඇතුළු වෙනවා. මේ අස්සෙ "ජාවක චන්ද්‍රභානු" කියලා විදේශීය නායකයෙක්ගෙ ආක්‍රමණයකුත් අපේ රටට එල්ල වෙනවා. ඉතින් චන්ද්‍රභානුගේ ආක්‍රමණය මර්දනය කරන්න පරාක්‍රමබාහු රජ්ජුරුවො, රජ්ජුරුවන්ගෙ පුත්‍රයෙක් වුණු "බුවනෙකබාහු"ව යවනවා. චන්ද්‍රභානුගෙ හමුදාව එක්ක සටන් කරලා, චන්ද්‍රභානුව අපේ රටෙන් එළවලා දාන්න, බුවනෙකබාහුට පුලුවන් වෙනවා.  ජාවක චන්ද්‍රභානු අපේ රට ආක්‍රමණය කරන්න හේතුව පැහැදිලි මදියි. මේ නිසා ඉතිහාසඥයෝ මේ ආක්‍රමණය ගැන මත දෙකක් නිර්මාණය කරලා තියෙනවා. 
01. චන්ද්‍රභානු කියන්නෙ බෞද්ධ රටක පාලකයෙක්. චන්ද්‍රභානුට තමන්ගේ රටේ පාලනය අහිමි වුණු නිසා තවත් බෞද්ධ රටක පාලකයෙක් වෙන්න හිතා ගෙන ලoකාව ආක්‍රමණය කිරීම.

02. දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ ලබා ගැනීමට ආක්‍රමණය කිරීම.

මේත් එක්කම මාඝ එක්ක සටන් කරන්න රජරටට ගිය සිoහල හමුදාව, මාඝගේ බල ප්‍රදේශයට ළo වෙනවා. සිoහල හමුදාව, මාඝ හැoගිලා හිටිය තැනට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරනවා. ක්ෂණික ප්‍රහාරය නිසා කලබල වෙන මාඝට, ලoකාවේ නැගෙනහිර බටහිර මාරු වෙනවා. සිoහල හමුදාවෙන් බැට කාගෙන ඉතිරි වෙලා ඉන්න සේනාවත් අරගෙන නැගෙනහිරට යනවා කියලා හිතා ගෙන බටහිරට පලා යනවා. බටහිරට පලා යනකොට ආධාර අරගෙන ආපු පාණ්ඩ්‍ය හමුදාවක් බටහිර වෙරළ තීරයට ගොඩ බහිමින් ඉන්නවා. පිටි පස්සෙන් විශාල සිoහල හමුදාවක්.. හමුදා දෙකට කොටු වෙන මාඝත්, මාඝගේ හමුදාවත් සමූල ඝාතනය වෙනවා. අවුරුදු 40ක් තිස්සේ අපේ රටේ මිනිස්සුන්ව භීතියට පත් කරපු, මාඝගේ කෲර පාලනය අවසාන වෙනවා. 

         පොළොන්නරුව මුදවා ගන්න කරපු මේ මහා සටනින් පස්සෙ, පොළොන්නරුවේ අභිෂේක උත්සවයක් පවත්වලා සමස්ථ දේශයේම පාලකයා හැටියට නිළ වශයෙන් වැඩ භාර ගන්නවා. 2 වන පරාක්‍රමබාහු රජතුමාට මුහුණ දෙන්න වුණු අභියෝග එතනිනුත් නැවතුණේ නෑ. ආයිත් අපේ රටට ජාවක චන්ද්‍රභානු විශාල ආක්‍රමණයක් එල්ල කරනවා. කලින් ආක්‍රමණය එල්ල වුණේ දකුණින්. ඒත් මේ පාර ආක්‍රමණය උතුරින් එල්ල වෙනවා. පැරකුම්බාවන්ගේ රාජකීය හමුදාව එක්ක සටන් කරන චන්ද්‍රභානු දරුණු පරාජයක් ලබනවා. ඊට පස්සේ උතුරේ ආර්යය චක්‍රවර්තීන්ගෙන් උදව් අරගෙන තවත් වතාවක් යුද්ධ කරන්න ගන්නවා. ඒ යුද්ධෙදි චන්ද්‍රභානු ඝාතනය වෙනවා.  
අවුරුදු 40කට පස්සෙ අපේ රටට සාමය උදා වෙන්න ගන්නවා. ඒත් එක්කම රටේ ශාසනික, සoස්කෘතික, අධ්‍යාපනික වගේ කෂේත්‍රවලත් සoවර්ධනයක් ඇති වෙන්න ගන්නවා. අවුරුදු 40ක් අපේ රට මාඝගේ පාලනය යටතෙ තිබ්බෙ. අවුරුදු 40ක් කියන්නෙ ගොඩක් ලොකු කාලයක්. මේ අවුරුදු 40 ඇතුළත අපේ ශාසනය ගොඩක් පිරිහිලා තිබ්බා. දුස්සීල හාමුදුරුවරු වැහි වැහැලා. එහෙන් රටේ යුද්ධයක් යන කොට මෙහෙන් පන්සල් ඇතුළේ වෙන්නෙ වෙන වෙන දේවල්. ඉතින් යුද්ධය ජයග්‍රහණය කරලා, 2 වෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො මුලින්ම කළේ අපේ රටේ ඔක්කොම භික්ෂූන් වහන්සේලා (ග්‍රාමවාසී සහ අරණ්‍යවාසී) දඹදෙනියේ විජේසුන්දරාරාමයට රැස් කරපු එකයි. ඊට පස්සෙ සoඝ සම්මේලනයක් තියලා, දුස්සීල හාමුදුරුවරු ශාසනයෙන් එළවලා දාලා ශාසනය ශුද්ධ කළා. ඊට පස්සෙ සoඝ සම්මුතියෙන් "දඹදෙනි කතිකාවත" කියලා අලුත් කතිකාවතක් ගේනවා

​     භි ක්ෂූන් වහන්සේලාට ක්‍රමවත් පුහුණුවක් සහ අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා පලාබත්ගල භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කරනවා. සතියක් දළදා වහන්සේට පූජා පවත්වනවා. මාඝගේ පාලන කාලයේ අපේ රටේ කඩාගෙන වැටුනු වෙහෙර විහාර ප්‍රතිසoස්කරණය කරන්න පියවර ගන්න අතරෙම සිරිපා වන්දනාවේ යන අයට පහසුකම් ලබා දෙන්න අනුග්‍රහය දක්වනවා. දෙවුන්දර, බෙන්තොට, කැළණිය, අත්තනගල්ල, යාපහුව, කුරුණෑගල වගේ ප්‍රදේශවලත් වෙහෙර විහාර නිර්මාණය කරනවා. කුරුණෑගල මහේන්ද්‍රභානු විහාරය මේකට  හොද නිදසුනක්.

       විහාරස්ථානවලට ගම්වර පූජා කරලා, බෙලිගල දළදා මාළිගාවේ තැන්පත් කරලා තිබ්බ දළදා වහන්සේව, දඹදෙනියට වඩම්වලා දඹදෙනියෙ දළදා මාළිගාවක් නිර්මාණය කරනවා. වැඩිහිටි මහා සoඝ පීතෘවරුන්ට අධ්‍යාපනය භාර දෙනවා. දඹදිවින්, අනිත් බෞද්ධ රටවල්වලින් වටිනා බෞද්ධ පොත්පත් ආනයනය කරනවා. පුoචි ළමයින්ට අකුරු උගන්නනවා. මාඝගේ කාලයෙ නැවතිලා තිබුණු වාර්ෂික උපසම්පදා උත්සව ආයිත් ආරම්භ කරනවා. ත්‍රිපිටකය පාලියට පරිවර්තනය කරන්න උපදෙස් දෙනවා. වාර්ෂික කටින පිoකම් පවත්වනවා. බෙලිගල පිරිවෙනක් නිර්මාණය කරනවා වගේම, අපේ රටේ හැම පිරිවෙනකටම උදව් කරනවා.

මේ විදිහට බුද්ධ ශාසනය වෙනුවෙන්, 2 වෙනි පරාක්‍රමබාහු රජතුමා ගොඩක් වැඩ කරනවා. රත්නපුරේ තියෙන සුමන සමන් මහා දේවාලයත්, පරාක්‍රමබාහු රජතුමාගේ මූලිකත්වය සහ අනුග්‍රහය ඇතිව නිර්මාණය වුණ දේවාලයක්. මේක දේවාලයක් වෙන්න කලින් රජමහා විහාරයක් කියලත් මතක තියාගන්න ඕන. ඒ කාලයේ එතන හැදින්නුවේ සමන් විහාරය කියලයි.
කෝට්ටේ යුගය අපි හදුන්වන්නෙ "සාහිත්‍යයේ ස්වර්ණමය යුගය" කියලනෙ. ඒත් සාහිත්‍යයේ ව්‍යාප්තිය, උන්නතිය දිහා බලන කොට "සාහිත්‍යයේ ස්වර්ණමය යුගය" වෙන්න ඕන කෝට්ටේ යුගයටත් කලින් තිබ්බ මේ දඹදෙනි යුගයයි. සාහිත්‍යට අමිල සේවාවක් කරන අග්‍රගන්‍ය පඩිවරු රාශියක් මේ යුගයේදී බිහි වෙන්න ගන්නවා. අපි කලින් කතා කළානෙ 2 වන පැරකුම්බාවන්ගෙ විෂය දැනුම ගැන. මේ නිසා එතුමා පිරිවෙන්වලට අනුග්‍රහය දක්වලා අධ්‍යාපනය නගා සිටු වන්න කටයුතු කළා වගේම, අපේ රටේ සාහිත්‍ය නගා සිටුවන්නත් අනුග්‍රහය දක්වනවා. මේ නිසා මේ කාලයේ හිසේ කෙස් ගාණට අපේ රටේ ගද්‍ය සහ පද්‍ය කෘති නිර්මාණය වෙන්න ගන්නවා.

දිඹුලාගල මේධoකර හිමි ;-
විනයාර්ථ සමුච්චය

වාචීස්සර හිමි ;-
ලීලන්තදීපනය, සච්චසන්කේප සිoහල සන්නස, පාලි ථූප වoශය, විනිශ්ච්‍ය ටීකාව, සීමාලoකාර සoග්‍රහය

රාජගුරු ධම්මකිත්ති හිමි ;-
දාඨා වoශය

ධර්මසේන හිමි ;-
සද්ධර්මරත්නාවලිය

මයුරාපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි ;-
යෝගාර්නවය, පූජාවලිය

ධම්මකිත්ති හිමි ;-
මහා වoශයේ ඉතිරි කොටස

ප්‍රියදේව හිමි ;-
සමන්තකූඨ වර්ණය, රසවාහිනිය

ආනන්ද වනරතන හිමි ;-
පාලි ව්‍යාකරණ සිoහල සන්නස

ප්‍රතිරාජ පරිවේණාධිපති හිමි ;-
සිදත් සගරාව

# කතෘ අඥාත ;- බණ විරිත සන්නය, අත්තනගල්ල විහාර වoශය

ඒ විතරක් නෙවේ. 2 වෙනි පරාක්‍රමබාහු රජතුමත් පොත් රචනා කරනවා. රජකෙනෙක් පොත් ලියනවා කියලා කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙවේ. පොත් ලියන්න නම් ලොකු කාලයක් සහ ශ්‍රමයක් ඒ වෙනුවෙන් යොදවන්න වෙනවා. 2 වෙනි පරාක්‍රමබාහු රජතුමාට පොත් ලියන්න තරම් වෙලාවක් තිබ්බෙ, සමහරක් විට ඒ කාලයේ අපේ රටේ තිබ්බ හැම ප්‍රශ්නයක්ම විසදලා ඉවර කරපු නිසා වෙන්නත් පුලුවන්. රජතුමාගෙ අතින් මේ පොත් තුන රචනා වෙනවා.

* පාලි විනය විනිශ්චය
* කව් සිළුමිණ
* විශුද්ධි මාර්ග සන්නස

මේකෙන් පේනවා 2 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ සමස්ථ දඹදෙනි යුගයම, ශ්‍රේෂ්ඨ සාහිත්‍ය යුගයකට හිමිකම් කියපු බව. 2 වෙනි පරාක්‍රමබාහු රජතුමා අවුරුදු 34ක් අපේ රටේ රජ කරනවා. ඊට පස්සෙ ඡන්ද ක්‍රමයකට අනුව තමන්ගෙ පුත්‍රයන් පස් දෙනාගෙන් දෙවෙනියා වෙච්ච විජයබාහුට රටේ පාලනය භාර දෙනවා.


2 වෙනි පරාක්‍රමබාහුගේ මරණයෙන් පස්සෙ 4 වෙනි විජයබාහු දඹදෙනි රාජධානිය පාලනය කරගෙන රටට ලොකු සේවයක් කරනවා. බලකොටු ඉදි කරලා, අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ පූජා භූමි ප්‍රතිසoස්කරණය කරලා, ආගමික උත්සව පවත්වලා, දඹදෙනිය රාජ්‍ය අලුත්වැඩියා කරලා, වෙහෙර විහාර නිර්මාණය කරලා, අභයරාජිනී වගේ පිරිවෙන් නිර්මාණය කරලා රටට සෑහෙන වැඩ කොටසක් කරමින් ඉන්නකොට, එතුමාගේ 2 වෙනි රාජ්‍ය වර්ෂයේ එතුමාගේම සෙනෙවියෙක් (මිත්ත) අතින් ඝාතනය වෙනවා.

මේත් එක්කම රජතුමාගේ සහෝදරයන් අතරින් මාළිගාවේ නතර වෙලා හිටපු සහෝදරයා වෙච්ච බුවනෙකබාහු කුමාරයා යාපහුවට පැනලා යනවා. බුවනෙකබාහු රජතුමාටත්, 4 වන විජයබාහු රජතුමාටත් පක්ෂපාතී අය සෙන්පති මිත්තව ඝාතනය කරනවා. ඒත් රටේ රාජ්‍යත්වයට නීත්‍යානුකූල අයිතිය තියෙන බුවනෙකබාහු කුමාරයා ආයිත් කවදාවත් දඹදෙනියට එන්නෙ නෑ. යාපහුවෙම නතර වෙනවා. මේත් එක්කම දඹදෙනිය රාජධානිය පරිහාණියට පත් වෙනවා.





@Copied 

@Photo Credit :-  First owner.

@Guesszone




                                                          Thankyou!

Post a Comment

0 Comments